Saturday, January 31, 2015

ඔඩොක්කුවට රණ්ඩුවක්



පුංචි කතන්දර කියනා
පුංචි සන්දියේ
හැමදාමත් හැන්දෑවට
සරොම් තොටිල්ලට පැනලා
පැද්දි පැද්දි
නැලවි නැලවි
හිනැහි හිනැහි
කවි කිවු හැටි
නුඹට මතක තියෙනවාද

නුඹ මගෙ ලොකු දුව වුනාම
නංගි නුඹේ තැන අරගෙන
සරොම් තොටිල්ලට පැනගෙන
පැද්දි පැද්දි නැලවෙනකොට
බෙරිහන් දී නුඹ ඇඬුවා
නුඹට මතක තියෙනවාද
නුඹේ ඔඩොක්කුව ඉල්ලා

නුඹ අම්මා කෙනෙක වෙලා
හෙට දවසේ ගෙදර ගෙනෙන
නුඹේ අපේ කිරි සිහිනේ
සරොම් තොටිල්ලට නැගලා
නැලවෙනකොට
පැද්දෙනකොට
ආයෙත් නුඹ අඬනවාද
ඔඩොක්කුවම ඉල්ල ඉල්ල
© ශාන්ත විජයමාන්න

Sunday, January 25, 2015

මඟුල් ඇතුගෙ අවනඩුව



රන් සළුවෙන් ගත සරසා
රන් කරඬුව පිට දරාන
පාවඩ මත පාද තබන
මඟුල් ඇතුගෙ නෙතේ කඳුළ
පෙනෙන්නෙ නෑ කාටවත්ම
විලංගුවට කැපෙන පාද
අමාරුවෙන් ඔසවනවා
ඇත් ගොව්වගෙ උල් පිහියට
කන ඉරනා අංකුසයට
බයෙන් බයෙන් බලන බැල්ම
දුකම කියනවා
අවිහිංසා මහත්තුරුන්
සුදු ඇඳගෙන දෙපසට වී
සාදු කියනවා
බුදු හාමුදුරුවො මේ කාලෙත්
වැඩ සිටියා නම්
මෙහෙම වෙන්නෙ නෑ
සංසාරේ එක දවසක
නුඹත් පවක් කරලා ඇති
නුඹ තාමත් පාවඩ මත
පාද තබනවා

Sunday, January 18, 2015

රන් සුරය පැළඳි නුඹට



අන වින හදි හූනියම්
ඇස්වහ කටවහ
සියළු දෝෂ දූරිභූතවන්න
ගෙළ පැළඳි රන් සුරය
නුඹට හූනියමක් වෙලා
මළ ගෙදරක යන්නට බැහැ
රෙදි වැලකින් රිංගනු බැහැ
රන් සුරය රැකගන්න
නුඹ දරනා වෙහෙසිල්ල
රන් සුරය ගෙයින් තියල
රෙදි වැලෙන් කෑල්ලක්
ගෙලේ පැළැන්දොත්
නරකද
නැති බංග වෙයි
සියළු දෝෂ

© ශාන්ත විජයමාන්න